ඉස්සෙල්ලම මෙතනට යන්න > > https://kandascolumnblog.wordpress.com/
එකෝමත් එක ගැලන්ට් එකක් සහ යුද්ධයක් !
ඕං ඉතින් ඉස්සෙලාම කණ්ඩා හාමිනේවත් කුදලාගෙන ගැලන්ට් එක බලන්න ගිය කතාව ලියුව නිසා අද එකේ ඉතිරි ඩිංගත් ලියල ඉවරයක් කරන්න හිතුන.
අනික අලුත් අවුරුද්දකුත් ආපු එකේ අර මක්කටැයි පරණ ඇරියස් තියාගෙන ඉන්නේ ???
පහුගිය සතියේ අර කාන්තාරෙ අස්සේ ගියපු වෙලේ තමයි මගේ පැරණි සගයව ආපහු සිහියට ආවේ, කොහොම අමතක කරන්නද ඒ කතන්දර 🙂
ඕනෑම දෙයක් සල්ලි දීල ගන්නකොට අතේ තියන අන්තිම සතේත් එතැනට හිර කරන එක කොහෙත්ම නුවණක්කාර වැඩක් නෙමෙයිනේ.
එනිසා හාමිනේ එක්කත් සාකච්චා කරලා ** අන්තිමට තීරණයක් ගත්ත අතේ සල්ලි බාගේ තරමක් තිබුණත් ඒක හින්දව ගන්නවට වඩා බැංකු ණය මුදලක් මත වාහනය අර ගන්න එක තමයි හොඳම විකල්පය කියල !
**ඒ කියන්නේ හාමිනේ කිව්වා මම අහගෙන හිටිය, එහෙම නොවුන සමහර දාට මුලින් යුද්ධ කරලා පහුවෙලා සාම සාකච්චා කරනවා. වෙලාව තියන විදිහට වැඩේට මුල් වෙච්ච දේ ගැනත් කතා කරනවා තමයි 🙂 **
ඕනෑම වැඩක් පටන් ගන්න කලින් දොස්තර හොඳහිත කාටූන් එකේ ඉන්න චව් ! චව් ! වගේ පස්ස ගහන හාමිනේත් කැමති වෙච්චි, දැන් ඉතින් තියෙන්නේ වාහනය විකුණන හාදයටයි එයාගේ හාමිනේටයි කතා කරලා කැමැත්ත දෙන්න තමයි.
අනික ඉතින් කවමදාවත් නැතිව හාමිනේත් හා හාපුරා කියල කැමැති උන හන්ද වැඩේ පහු කරන එකේ කිසිම තේරුමකුත් නැහැ නොවැ !
මේ වෙනකොට කණ්ඩගේ වගේම හාමිනේගෙත් රැකියාව ස්ථිර වෙලා, දෙන්නම උදේ දවල් නොබලා සුපිරි කොම්පැණියට නැහීගෙන කඹුරපු එක තමයි කරේ.
අවුරුද්දට කිහිප වතාවක් ඇෆ්ගනිස්තානයට පියෑඹුව උනත් දෙන්නටම වෙනත් පැති වලින් කිසි කරදරයක් තිබුනෙත් නැහැ.(ඇෆ්ගනිස්තානේ ගමන් ගැන වැඩි විස්තර මෙතනින්)
කොටින්ම නාහෙට අහන්නේ නැති “බින් ලාදින්” ගොයියටයි, එක පස්සේ අසිහියෙන් එලවපු සල්ලිකාර යැංකියන්ටයි, යැංකියන්ගෙන් සල්ලි ගරපු සුපිරි කොම්පැණියටයි පින්සිද්ද වෙන්න කණ්ඩගේ අතේත් යහමින් සල්ලිය බාගේ ගැවසෙන්න පටන් ගත්ත 🙂 🙂 🙂 **
**යැංකියන්ගෙන්ම උදව් උපකාර, ආයුධ අරන් යැංකියන්ටම ගහල කොකා පෙන්නපු, අපිට හත් අවුරුද්දක් තිස්සේ කන්න බොන්න දියුණු වෙන්න සලස්වපු දයාබර “බින් ලාදින්” අයියේ …
ඔයා මොන දිවය ලෝකේ හිටියත් මළ ගිය වීරයෙක් විදිහට දෙවියෝ දීපු කන්‍යාවියන් 72ත් සමග ඉන්නා තැනක සැපෙන් සනීපෙන් ඉන්න කියල ප්‍රාර්ථනා කරනවා ! 🙂 **
අර කම්මැලියො ගාව ඒ අයටම විශේෂ වෙච්චි ආප්තෝපදේශයක් තියනවනේ “අද කරන්න තියන වැඩේ හෙටම කරන්න” කියල, ඉතිං ඔය නැව් පුරවල පඬි ටෝක් දුන්නත් තමන්ගේ වැඩ වලට කණ්ඩත් ටිකක් විතර ඔහොම තමයි 🙂
ඒක හන්ද අන්තිමට කල් ඇරලා .. ඇරලා .. රාහු කාලේ එහෙම මග ඇරලා ** (අනේ මං බලන බම්බුව රාහු !) ඔන්න ඉතින් කණ්ඩා වාහනේ අයිතිකාරයට කතා කෙරුව.
** හාමිනේගේ අම්මාට අනුව නම් අනුන්ගේ වැඩ වලට බකට් අදින එක ඇරෙන්නට රාහුවාට වෙන වැඩක් නැත්තේය **
මේ අයිතිකාරය කණ්ඩගේ ඔපීසියේ මිතුරෙක් හොඳින් දන්නා කියන හාදයෙක් නිසා ගණන් මිමි කතා කර ගන්න නම් කිසිම අපහසුවක් උනේ නම් නැහැ …
පොඩි කරදරයකට තිබුනේ මේ උදවිය ගෙවීමේ ක්‍රමයට අරගෙන තිබුණු වාහනය අපේ නමට හරවාගෙන ඉතිරි ණය ගෙවීම කරගෙන යන්න විවිධාකාර ලියුම් කියුම් අවශ්‍ය වීම තමයි.
නමුත් අපේ වාසනාවට අතින් කිසිඳු අමතර මුදලක් ගෙවන්නේ නැතුව ඉතිරි ණය මුදලට පමණක් වාහනය ලබා දීමට අයිතිකාරයා එකඟ උනා …
තේකක් බොන්න යන දිරමත් ඉතිරි කරන්න හදන අල්ලපු රටේ උදවියත් එක්ක, මේ හාදය ඇත්තටම වෙන රටක ගොයියෙක්ද කියල මට සැකයකුත් ආව එතැනදී නම් 🙂 **
** ඕනෑම දෙයක් හිතා ගන්න බැරි තරමට හොඳ වැඩියි නම් (Too Good To be True) ඒ වගේ දේවල් වලින් පරිස්සම් වෙන්න ඕන, එක දැන ගත්තෙ පස්සේ 🙂 **
ඒ මදිවට අපි වාහනය බලන්න ගිහින් ආවට පස්සේ ගත වුන සති දෙක තුන අතරතුර අයිතිකාරයා තවත් ණය වාරිකයක් ගෙවල, ඉතින් වාහනය අපේ නමට හරවද්දී මුලින් ඉදිරිපත් කරපු ගානටත් අඩුවෙන් තමයි ගෙවන්න වෙන්නේ.
කණ්ඩාට මේ වගේ පොට්ට චාන්ස් හම්බ වෙනවා නම් බොහොම හොරයි, වෙනදට නම් ඉතිං හිතුවටත් වඩා අතින් ගෙවන්න වෙන ඒක තමයි සිද්ද වෙන්නෙ … 🙂 🙂
වාහනේ විකුණන්න එකඟ උනාට මිනිහයි මිනිහගේ මායියයි මෙලෝ සිහියක් නැතුව එහෙ මෙහෙ දුවනවා … මොකද රට අත ඇරලා යන්නනේ ලැහැස්තිය.
වාහනේ විස්තර කතාබහ කරනකොට තමයි දැන ගන්න හම්බ උනේ මේ උදවිය වාහනෙන් ඕමාන් හිටං හතර පස් පාරක් ගොහින් තියනව කියල, එක ඇහුවම මට තවත් සතුටුයි මොකෝ දුර ගමන් වලට උනත් කරදරයක් නැති නිසා.
ගණන් මිමි කතා කරලා හිටං ඉවර උනාට පස්සේ මේ හාදයගෙන් කණ්ඩා නිකමට වගේ ඇහුව කොහොමද අලුත් රටට යන්න කරන්න ලැහැස්තිය කියල … ඕප දූප විදිහට එහෙම නෙමෙයි මනුස්සකමට 🙂
මෙන්නේ බොලේ ඒ ගමන මේ මනුස්සය මළ අදෝනාවක් පටන් ගත්ත කියපල්ලකෝ … 😦
වැඩ කරන තැන් වල නිවාඩු ගන්න තියන කරදරයි … ළමයින්ගේ ඉස්කෝල වල සහතික ගන්න යන්න තියන කරදරයි … නෝනගේ සාප්පු සවාරියි … ගෙදර බඩු කුණු කොල්ලයට විකුණපු හැටියි … ලෙඩ කෝටියයි …. !
මිනිස්සු කන් කෙඳිරි ගානවා අහන්න අකමැති උනත්, කවුරු උනත් දුක කියනකොට අපෙත් හිත උණු වෙනවනේ.
ඒ හන්ද කණ්ඩත් දුක් ගන්නා රාළ වගේ කරපු මෝඩකම මෙනෙහි කරමින් බොහොඬ වහේ ඔලුව වනන ගමන් සැරින් සැරේ හූ මිටි තිය තියා කියාපු එව්වා ඔක්කොම අහන් හිටිය !
මේ හාදයා අල්ලපු රටේ ගෝවේ පැත්තේ කිව්වට මෙහෙම අඬනවා දැක්කම මට නම් හිතුනේ මේ උදවිය මීගමුවේ පැත්තෙන් ගිහින් ගෝවේ පදිංචි වෙලාද දන්නේ නැහැ කියල … **
** මොකෝ කණ්ඩ අහල තියන විදිහට මීගමුවේ ඉන්නවලු අඬන්න කප් ගහපු සහ ඇඬිම වෘත්තිය කර ගත්තු උදවිය …
අදාලම නැති උනාට මං අහන්නේ යශෝධා විමලධර්මත් මිගමුවෙද ? නෑ
නක්කලේට නෙමෙයි දන්නේ නැති හින්ද අහන්නේ ? කණ්ඩ ටෙලි නාට්‍ය බලන එක නැවැත්තුවේ එදවස් වල රූප පෙට්ටිය ඇරපු ගමන් යශෝධා හොටු හූර හූර අඬනවා බලන්න බැරි හන්ද 🙂
සමහරුන්ට නම් මෙව්වට හිත වාවන්නෙම නැහැනේ … කණ්ඩට නම් මේවා බලාල වෙලාවකට හිනා වෙලා ඉළ ඇදෙනවා අනිත් වෙලාවට බඩ දඟලනවා … සන්තෝසේ බැරුවා ! **
ඔය මොනවා කිව්වත් මේ මනුස්සයගේ ඇඬිල්ල අහල කණ්ඩගේත් හිත හොඳටෝම උණු උනා.
** හැබැයි ඒවාට පස්සේ යහමින් ගෙවන්න සිද්ධ උනා … 🙂 **
ඔන්න දැන් වාහනේ ණය මුදල හරවාගෙන කණ්ඩා හාමිනේ නමට ලියාපදිංචි කරන්න විතරයි ඉතිරි වෙලා තියෙන්නේ …
අපි දෙන්නගේ වාසනාවට වගේ මේ අයිතිකාර හාදය වාහනේ ණය මුදල අරගෙන තිබුනෙත් කණ්ඩා ගනුදෙනු කරපු බැංකුවෙන්ම තමයි …
මේ හේතුවෙන් බොහොමයක් ලියකියවිලි වගේම වැඩකටයුතු වලට යන කාල වෙලාවත් අපට ඉතිරි වෙච්චි එක ඒ වෙලාවේ හැටියට සෑහෙන්න වටිනා දෙයක්.
කොයි දීපංකරේ ගියත් රස්තියාදුව කියන එක නම් කණ්ඩාට දිරවන්නෙම නැති මාතෘකාවක් … අනික සමහර බැංකු වලට ණයක් ගන්න ගියහම ඒ උන්දැල හිතාගෙන ඉන්නෙ හැමෝම ඒ ගොල්ලන්ගෙ බුදලේට හම්බුවෙච්ච සල්ලි හිඟන්න ඇවිත් කියලනේ …
නමුත් අපි බැංකුවට ගියහම මේ සම්බන්දව කටයුතු කරන්න හිටියේ ජැන්ඩි පහට හැඳ පැළඳ තද නිල්පාට තලප්පාවක් පිළිවෙලට බැඳ ගත්තු ගාම්භීර ජටිල මහත්තයෙක් (සීක් ජාතිකයෙක් – Sikh) !
හොඳ උස මහත ප්‍රිය මනාප හාදයෙක් වෙච්ච මේ මනුස්සය අපිව රස්තියාදු නොකර වැඩේ හරියටම කෙරෙන විදිහ කියල දුන්න විතරක් නෙමෙයි වාහනයට රක්ෂණයක් ගැනීමටත් උදවු කරා …
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අලුතින් රියදුරු බලපත්‍ර ගන්නා උදවියට වාහන රක්ෂණාවරණයක් මිලදී ගැනීමේදී සාමාන්‍ය අගයට වැඩි මුදලක් ගෙවන්න වෙන එක බොහොම සුලභව සිදු වෙන දෙයක්.
අඩුම තරමේ අවුරුද්දක්වත් රියදුරු බලපත්‍රය පැරණි නම් මේ වගේ ගැටළුවක් නැහැ.
මේ කතන්දරය රක්ෂණ ආයතනය මත තීරණය වෙන දෙයකුත් නොවෙයි, ඒ හන්ද මැද පෙර දිග කලාපය පුරා විතරක්ම පවතින දෙයක්ද මන්දා ? ඒ ගැන හරියටම නිච්චියක් අදටත් කණ්ඩාට නැහැ !
කණ්ඩා හාමිනේට අවුරුදු දහය පහළොවක් තිස්සේ සිරි ලංකාවේ වාහන ආම්බාන් කරලා පළපුරුද්ද තිබුණත් අරාබිකරයේ රියදුරු බලපත්‍රය අලුත් නිසා මේ ආකාරයටම වැඩි මුදලක් ගෙවන්නට සිද්ද උනා.
මැද පෙරදිග පුරා තියන දියුණු මාර්ග, බොහොම පහසුවෙන් ලබා ගත හැකි කඟවෙනුන් වගේ නවීන වාහනත් එක්ක නොසැලකිලිමත් රියදුරන් එකතුවෙනකොට ඇතිවෙන අතුරුපල බොහොම දරුණුයි !
ගොල්ෆ් GTI (Golf GTI) වගේ කාර් බාගයක් එහෙමත් නැත්නම් හැච් බැක් (Hatch Back) එකකට ලොකු ආසාවක් තිබුණත් ඩිකිය දිග එකක් ගත්තේ වැඩි ආරක්ෂාවට.
ඕනෑම වාහනයක ඩිකිය සහ බොනට් එක හොඳට තියෙන්න ඕන කියල හැමෝම දන්නා දෙයක්නේ 🙂 🙂 🙂
තමන්ගේ පරිස්සම ගැන හිතන උදවිය ඔටුවගේ රටේ අනිත් හැම දේම වගේ රක්ෂණාවරණයක් ගන්නකොටත්, හොඳම එක ගන්න තමයි කැමැත්ත.
ආයේ ඉතිං Go Big or Go Home, තමන්ගේ පණටයි වාහනේටයි ආදරේ නැත්තෙ කවුද ???
ඉතින් අපි දෙන්නත් රක්ෂණාවරණයේ වියදම සැර උනාට ගන්න පුළුං උපරිම හොඳ මට්ටමේ එකක් අර ගන්න තිරණය කළේ අරාබිකරයේ ඉන්න නාහෙට අහන්නේ නැති සම – හරක් එවුන් ගැන හිතලමයි !
ඔන්න ඉතින් කොහොම කොහොමෙන් හරි පැයක් හමාරක් ඇතුළත බැංකුවේ එහෙට මෙහෙට දුවල ණය මුදලේ වැඩේ අහවර කරගෙන ජටිල මහත්තයටත් කට පිරෙන්න ස්තුතිය කරලා අපි බැංකුවෙන් එලියට බැස්ස …
දැන් ඉතිරි වෙලා තියෙන්නේ වාහනේ ලියාපදිංචි කරන එක විතරයි, එකට ඉතින් වාහනය ළඟ තියෙන්න එපාය … මම ආපහු වාහනේ අයිතිකාර හාදයට කතා කරා.
මේ මනුස්සය ආයෙත් ඉතින් අර කලින් කරපු දුක් ගැනවිල්ල ඒ විදිහටම ඉදිරිපත් කළා …
ඉතිං මේ ඇඬිල්ල අහල හිත උණු වෙච්ච් පාර කණ්ඩ කිව්වා කමක් නැහැ වාහනය අරගත්තට පස්සේ ඔය උදවිය රටින් යනකල් දවස් දෙක තුනක් පාවිච්චි කරන්න කියල.
ඉතින් ඉබ්බා හදනකොට ඇන්නෑවේ කිව්වලු … මේං ඒ පාර මේ මනුස්සයගේ ඇඬිල්ලත් ඉවරයි කුණු කුණු ගාන එකත් ඉවරයි … ඒ කියන්නේ මේ යකාගේ ඇඬිල්ල කිව්වට මේක ඇත්තටම ඇන්දිල්ලක් !
වැඩේ සාර්ථකයි ! කණ්ඩත් අඩුවක් නැතිවම දික් කරන පරක්කුවෙන් ඇඳගත්ත කියල තේරෙනකොට පරක්කු වැඩියි !
දැන් ගිහින් මේ කයි කතන්දර හාමිනේට තේරුම් බේරුම් කරලා දීපල්ලකො අහන පුරස්න වලට උත්තර … 😦 **
** හාමිනේ නම් ඉතින් ඔය ඔලමොට්ටල වැඩ වලට තරහ ගිය වෙලාවට කියන්නේ කණ්ඩ ඉපදිලා තියෙන්නේ කොලොම්පුරේ නෙමෙයි තුම්පනේ කියාල … අනේ මන්ද ඕව හිටං අහන්න ඕනේ හාමිනේගෙන්ම තමයි.
තුම්පනේ තියෙන්නේ කොහෙද කියලවත් උන්දැ දන්නවද ? 🙂 **
හැබැයි මේ කතාන්දරයේදි නම් කණ්ඩා හාමිනේත් වැඩිය මොකුත් කිව්වේ නැත්තේ මේ අයිතිකාර යුවලට දරු මල්ලොත් හිටපු හින්ද වෙන්න ඇති.
තරහ ගිය වෙලාවට ඔය මොනවා කිව්වත්, කොච්චර සත්තං දැම්මත් උන්දැගේ හිතත් හරි ඉක්මනට උණු වෙනවා, මේක ඔයින් ගියා මදැයි !
ඔන්න ඉතින් වාහනයේ අයිතිය අපිට ලැබුණට පස්සෙත් අපේ මනුස්ස කමට මේ ජෝඩුවට වාහනය දවස් කිහිපයක්ම දුන්නයි කියමුකෝ …කණ්ඩයි හාමිනෙයි ඇඟිලි ගනිනවා වාහනේ හම්බ වෙනකං !
ඔන්න ඉතින් අන්තිමට ජුලි මාසේ එක්තරා දවසක පෙරුම් පුරාගෙන හිටිය වාහනේ ලැබෙන දවස ආව …
කණ්ඩ අයිතිකාර හාදයට දුරකථන ඇමතුමක් දුන්න වාහනය ගෙනත් දෙන්න කියල මතක් කරන්නයි, අරන් එන්න ඕන තැන කියන්නයි.
මේ ගොයිය හිටියේ ඩුබායි වල උනත් ඒ අල්ලපු වත්තවගේ වැඩි දුරක් නැහැ, සාජා වල අපි හිටපු පළාතට විනාඩි 10 ක් යයි වැඩිම උනොත් යන්න එන්න …
දැන් අර නහයෙන් ඇඩීම හොඳටම හොඳයි, ඒ මදිවට මෙන්න ඒ ගමන මේ යකා බබා පාට් දාන්න ගත්ත … වැඩ වැඩියිලු … සාජා පාරවල් දන්නේ නැතිලු …
ඕං ඔය විදිහට පටන් අරගෙන අන්තිමට මේ *** අහනවා ඇවිත් වාහනය අරන් යන්න බැරිද කියල ??? නැති නම් තව දවස් දෙකකින් වාහනේ ගෙදරටම ගෙනහල්ලම දෙන්නම්ලු …
මේ යකා මේ දත කන්නේ තවත් දවස් දෙකක් වාහනය තියා ගන්න, මේ කතන්දරය මිනිහෙක් විදිහට කෙළින්ම මගෙන් ඇහුව නම් මම බොහෝ දුරට කැමති වෙන්නත් ඉඩ තිබුණ.
නමුත් එහෙම නැතුව වටින් ගොඩින් ගියපු විදිහ මට ඇල්ලුවේම නැහැ !
මිනිහට තව කියවන්න ඉඩ නොදී කණ්ඩ ෆෝන් එක කට් කරලා දාල, සතාගේ තරම සහ සුද්දෙන්ම තේරුම් ගත්ත හන්ද කණ්ඩත් තීරණය කරා ඒ වෙලාවෙම හාමිනේවත් කුදලාගෙන ගොහින් වාහනය අරන් එනවා කියල.
මේවට තමයි කියන්නේ වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටෙනවා කියන්නේ !
පේනවනේ ඕනෑවට වඩා මිනිස්සු විශ්වාස කරහම වෙන දේවල් … මම නං කියන්නේ සතෙක් සරුපයෙක් විශ්වාස කලත් මනුස්සයෙක්ව නං එහෙම විශ්වාස කරන්න එපා කියල තමයි 🙂
ඒ වෙනකොට සෑහෙන්න රෑ වෙලා තිබුණත් හාමිනේට කිව්ව ගමන් උන්දැටත් අසූ හාරදහටම නැග්ග පාර කඩිමුඩියේම දෙන්න දෙමහල්ලෝ ලැහැස්ති වෙලා බැස්ස එලියට.
ඔන්න ඉතින් අපි වාහනය ගන්න අයිතිකාරයගේ ගෙදරට ගියා … මිනිහ නයා මැරිච්ච අහිකුණ්ටකය වගේ ඇවිල්ල අපිට යතුරයි තිබුණු අනිත් ලියකියවිලියි භාර දුන්න.
කොච්චර උනත් වාහනය විකුණනවට මෑන්ට හෙන දුකයි, හරි සිරියාවන්ත වාහනේලු … හොඳින් බලාගන්නලු … මම ඉතින් හැම දේටම හූ මිටි තිව්ව විතරයි.
මේ යකාව කන්න කේන්තියෙන් හිටියත් අර අඬන්න ඉන්න මනුස්සයට ඇඟිල්ලෙන් අනින එක නොහොබිනාකමක් නිසා කණ්ඩවත් හාමිනේවත් මේ මනුස්සයට වචනෙකින්වත් හිත රිදෙන්න මොකුත් කිව්වේ නැහැ.
අන්තිමට අපි ආචාර සමාචාර යෙන් පරණ අයිතිකාරයට සමුදීපු අපි හා හාපුරා කරලා වාහනයට නැග්ග ඕං …
ඒ වෙලාවේ අපි දෙන්නටම ඇති වෙච්ච හැඟිම වචනයෙන් විස්තර කරලා නිම කරන්න අමාරුයි !
අපි දෙන්නටය කියල අපේ දහදිය මහන්සියෙන් හම්බු කරලා අර ගත්තු පළමුවෙනි වාහනය තමයි මේ … 🙂 🙂 🙂
කාටද ආඩම්බර, මොකෝ අපිට කියල පරම්පරාවෙන් හම්බුවෙලාද ? නැත්තන් අර පිනට වාහන දෙන්න පංචායුධ බාප්පිල වගේ උදවිය ඉන්න එකක් කියලද ???
දැන් ඉතිං වෙනද වගේ ටැක්සි කාරයන්ගේ උඬගුකම්, ගෑස් බලන්න ඕන නැහැ … රූන් ගාල ඉගිල්ලිලා යන්න විතරයි තියෙන්නේ 🙂 🙂 🙂
ඒ එක්කම මට මතක් උනේ තාත්තවයි අම්මවයි, ඒ දෙන්නම ගෙදරට වාහනයක් ගන්න හුඟක් ආසාවෙන් හිටපු බව මම දැනගෙන හිටිය, ඒ අයත් හිටිය නම් කොච්චර සතුටු වෙයිද ?
තාත්තට තිබුණු වගකීම් එක්ක වාහනයක් ගන්න එක ඒ දවස් වල හීනයක් වෙලා තිබ්බේ, ගෙදර තිබුණු CD – 90 යි පස්සේ එකතු වෙච්චි CM – 125 එකයි තමා අපි එක්ක දුකට සැපට දෙකටම හිටියේ 🙂
අනික ඒ දවස් වල කොහොමත් ගමේ ආච්චි අම්ම කියල තිබ්බ වාහනේකට යට කරන කරන සල්ලි වලින් ගමේ වැඩට ටැක්ටරයක් හරි ලොරි බාගයක් හරි ගන්න කියල, බයිසිකලේ යනවා වගේ ද ටැක්ටරේක නැගල යන එක 🙂
ඔයිං මෙයිං කණ්ඩා වත් දාගෙන පොඩ්ඩක් කලබලෙන් උනත් හාමිනේ කරදරයක් නැතිව ගෙදර එන්න පිටත් උනා … අර මනුස්සය අපි නොපෙනී යනකම්ම වාහනේ දිහා බලාගෙන ඉන්නවා මම කන්ණාඩියෙන් දැක්ක …
ඔන්න අපි පාරට වාහනේ දාගත්ත කියමුකෝ දැන් කණ්ඩා තමයි මාර්ග උපදේශක, මාතලී ඇවිල්ල හාමිනේ, මොකෝ ලයිසම තියෙන්නේ හාමිනේට විතරක් හන්ද … 🙂
අවුරුදු ගානක් දකුණෙන් වාහන එලවන්න පුරුදු වෙලා මහා රෑ පළමුවෙනි පාරට තමන්ගේම වාහනයක් තනිවම වමෙන් පදිනවා කියන්නේ ටිකක් විතර හිත ගැස්සෙන වෙනස්ම අත්දැකීමක් …
ඉස්සරහට එන වාහන වලට වීදුරුව පහත් කරලා බනින්න හිතෙනවා … පාරේ වැරදි පැත්තෙන් එන්නේ තමුසෙට පිස්සුද ඕයි කියල !!!
ඉතිරිය > >
No comments:
Post a Comment